මා සමඟ මාගේ හිතවතුන් කිහිප දෙනෙකුත් මා මෙන්ම කාලයක
සිටම මස් මාංශ අනුභවයෙන් තොරව හා ශීලයෙන් යුතුව පෙර සූදානමකට ලක්ව බොහෝ
කාලයක් පටන් ඉතා ඕනෑකමින් බලා සිටි ඒ ගමන යාමට අවකාශ 2014 ඉකුත් ජූනි 1වනදා උදාවිය. අප
සියලු දෙනාම තුනුරුවන් සිහිකර හදපිරි සතුටින් බොරලැස්ගමුවෙන් පිටවී කතරගම දක්වා වූ
දිඟු ගමනේ පළමු අදියර ඉතා සතුටින් නිමකිරීමට හැකිවිය... එදින රාත්‍රියේ අප සියලු
දෙනාම කිරිවෙහෙර සමිඳුන් හා කතරගම දෙවිඳුන් වැද ආශීර්වාද ගෙන නින්දට ගියේ පසුදා
පහන් වනවිට යෑමට ඇති ඒ ගමන සිහිකර ගෙනය.
අප ගමනේ විශේෂ සහා දෙවන අදියර ජූනි 2 වනදා
ආරම්භ වූ අතර එදින අලුයම අප පෙර දිනයේ කතාකර ගත්
පරිදි "දමිත්" එවැනි දුෂ්කර ගමන් සදහාම විශේෂයෙන් සැදූ ඒ "ලෑන්ඩ්
රෝවර්" වර්ගයේ ජීප් රියත් රැගෙන අප සිටි සංචාරක මණ්ඩලයේ තානායම වෙත පැමිණි
අතර සෝමවීර කපුමහතා ඇතුලු අප සියලුදෙනාම යුහුසුලුව පූජාව සඳහාම එකතුකර ගත් බඩු
බාහිරාදියද කැටුව ගමන පිටත්විය. පළමුව සෙල්ලකතරගම බුත්තල මාර්ගයේ පිහිටි පුරාණ ගණ දෙවි කෝවිලෙන් ආශීර්වාද
ගෙන ඒ දිඟු ගමන ආරම්භ කලේය. අපගේ උදය ආහාරය
මොනරාගලින් ලබාගත් අතර පසුව කොටියගල ඇතිමලේ හරහා කිලෝමටර 105
ක පමණ දුරක් ගෙවා කෙමින් කෙමින් ඝණ වනය තුලට පිවිසෙන
ලදී. කුමන ජාතික වනෝද්‍යාන සීමාවට මායිම්ව අප යාල iv වනයට ඇතුල්වීමට පෙර
චාරිත්‍රානුකූලව කොළ අතු එල්ලා කතරගම දෙවිදුන්ගෙන් ආරක්ෂාව පතා ඒ ගමන ආරම්භ කළහ.
ඉතා දුෂ්කර බාධක කපොලු අතරින් කිලෝමීටර 35ක් පමණ වූ ඒ වීඩාකාරී ගමන නිමකිරීමට අපට පැය 2
1/2 කට ආසන්න කාලයක් ගතවිය. නමුත් අපහට ඇතිවී තිබූ ගමනේ වීඩාව කැබලිත්ත
පුන්‍ය භූමියට ඇතුලු වූ විගසම නැතිවී ගියේ එහි ඇති අනුහසින් යැයි කිවහොත්
නිවැරදිය... එය එතරම් සුන්දර නිස්කලංක දෙවියන් හටම සීමාවූ පරිසරයක් විය. වන සිවුපාවකුගේ හෝ
කිසියම් පක්ෂියකුගේ හඬ හැරෙන්නට අපට ඇසුනේ "කුඹුක්කන් ඔයේ" සීතල දිය
දහරාව ගලා යන හඬ පමණි.
ඉතා සීමිත වූ පහසුකම් මැද හොද කහට කෝප්පයක රස බැලූ අපි
යුහුසුලුව ඔයට බැස කැබලිත්ත දේවාල සීමාවට පය තැබීමට පෙර ස්නානය කර ගත්හ. පසුව සෝමවීර කපුමහතා
විසින් පිළියෙල කරගත් අමුකහ සහා දෙහි දියර ඉසගෙන කුඹුක්කන් ඔය තරණය කර ඒ පුන්යවත් භූමියට
ඇතුල්විය.
මට ඒ මොහොතේ කියා නිම කළ නොකල හැකි සතුටක්
ඇතිවිය. මේ වාසනාව අත්පත් කරගැනීමට මා පෙර භවයක කොපමණ පිනක් කර ඇති දැයි මටම සිතා
ගැනීමට නොහැකිව දෙලොවක් අතර මාගේ සිත අතරමං වූ බවක් දැනුනි.
පළමුව මා හා කපුමහතා පිලියෙල කරගත් දෙහි සහා අමුකහ දියර
ඒ පුන්‍ය භූමියේ සියලු තැන්හීම ඉසින ලද අතර පසුව පැමිණ දෙවියන් හට පිලිගැන්වීමට
උඩුවියන් බැඳ මුරුතැන් බත පිසගන්නා ලදී. මෙම කාලය තුලදීම දෙවියන් හට පිදීමට අප
රැඟෙන ගිය නැවුම් පළතුරු පූජාවද පිලියෙල කරගෙන නඩයේ සියලු දෙනාම ඉතා පිරිසිදු
සුදුවතින් සැරසී කැබලිත්ත බෝධි සමිඳුන් අභියස පංච සීලයෙහි පිහිටුවා බෝධීන් වභනසේ
හට කසාවත් සිවුරු පලන්දා බුද්ධ පූජාවෙන් අනතුරුව කාලයක පටන් පුන පුනා බලා සිටි ඒ උත්තම පූජාව
කැබලිත්ත මහා සියඹලෑව දේවාලයේදී සිදුකර ගැනීමට හේතු වාසනා විය.
සියලු පූජාවන්ගෙන් අනතුරුව කතරගම දෙවිඳුන්ගේ ආශීර්වාද
ලබාගත් අප සියලු දෙනාම වනයට අධිපතිව සිටින්නාවූ "අප්පච්චී" යන නමින්
හදුන්වන්නාවූ කඩවර දේවතාවුන් වහන්සේගෙන් නැවත අප ගම්බිම් බලා පිටත් වීමට නිසි
ආරක්ෂාව සහා අවසර ලබාගෙන නැවතත් කුඹුක්කන් ඔය තරණය කර මෙගොඩට පැමිණියහ. නැවතත් ඉතා උණුසුම් තේ කහට කෝප්පකින් සප්පායම් වූ අප සියලු දෙනාම මෙගොඩ
පිහිටි බෝධීන් වහන්සේ හටද කසාවත් සිවුරු පලන්දා වතාවත් සිදුකොට ලබන වසරේ නැවතත්
පැමිණීමේ අරමුණින් ඒ අති උත්තම පුන්‍ය භූමියෙන් නික්ම හිරු අවරට යන අතරතුර කාලයේදී
අප ගිය ඒ අති දුෂ්කර ගමන නැවත වාරයක් පසුකොට ගෙන මොනරාගල හරහා කතරගමට ඉතා ආරක්ෂාකාරීව පැමිණියහ. රාත්‍රී ආහාරයෙන් පසු මා
නින්දට ගියේ මා මෙපමණ පුන්යවන්තද... භාග්‍යවන්තද... අප උත්තම කතරගම දෙවිරඳුන් භාවනා
යෝගීව වැඩ සිටින වන සෙනසුනට ඇතුල්වීමට!!! කියා යැයි සිතිමිණි.
පසුදා ඉතා උද්යෝගයෙන් අවදි වූ මා පෙරදා කල කී කටයුතු
ගැන අප සියලු දෙනාම උදේ ආහාරය අතරතුර සාකච්ඡා කරන ලද අතර,
පසුව අප කතරගමින් පිටත්වී බුත්තල,
උඩවලව, රත්නපුර හරහා
නැවතත් නිවෙස් වෙත නිරුපද්‍රිතව පැමිණියහ. තවද මෙම අති උතුම් ගමනට
මා සමඟ සහභාගී වූ සියලු දෙනාටත්, පූජාව කිරීමට නන්
අයුරින් දායක වූ සියලු දෙනාටත්, සියලු පූජාවන්
නිසි අයුරින් ඉටුකළ අප සෝමවීර කපුමහතාට හා අප සියලු දෙනාවම ඉතා ආරක්ෂාකාරීව රැගෙන
ගිය දමිත් මල්ලීටත් බුද්ධ, ධම්ම,
සංඝ යන තුනුරුවන්ගේ පිහිටත් කතරගම දෙවියන්ගේ පිහිට
ආශීර්වාදයත් ලැබේවා!!!